ස්වයං නිරෝධායනය වන මහල් නිවාස වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා එම පරිශ්‍රයන් වෙත ගොස් ඔවුන් වෙනුවෙන් සංගීත වැඩසටහනක් 2020 අප්‍රේල් 05 වන දින පවත් වන ලදි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවේද විශාල පිරිසක් නිවෙස් තුළට වී මේ මෙහොතේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි. ඒ ආකාරයෙන් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසයන්හි ජීවත් වන ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කර ලීම සඳහා රජය විසින් සිදු කරන වැඩ පිලිවෙළට ශක්තියක් වීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් හා මග පෙන්වීම මත 2020 අප්‍රේල් 05 වන දින සංගීත වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලදි. විශේෂයෙන් රටතුළ පවතින මෙම ව්‍යසනකාරී වාතාවරණය තුළ මෙම මහල් නිවාසවල ජීවත්වන ජනතාවට ඔවුන්ගේ ඉතා සීමිත ඉඩකඩක් සහිත නිවාසයන්හි රැදී සිටීමට සිදුව ඇති අතර, ඔවුන්ගේ එම ඒකාකාරී ජීවන රටාව මගහරවා ගැනීමටත් මෙම අසීරු අවස්තාවේ නිවාස වල රැදී සිටිමින් රජයට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ සෞඛ්‍ය සේවාවන් වලට අත්‍යාවශ්‍ය සේවා පවත්වාගැනීමට සිදු කරන නිහඩ සේවය ඇගයීම වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීමත් මෙමගින් අපේක්‍ෂා කෙරේ.

තවද, මෙහිදී වෛරසයෙන් වැලකී සිටීම සඳහා පිළිපැදිය යුතු වෛද්‍ය උපදෙස් පිළීබඳව තවදුරටත් එම ජනතාව දැනුවත් කිරීම සිදු කළ අතර, මහල් නිවාසයන්හි ජීවත් වන එම ජනතාව තම නිවෙස් වලම සිට නාවික හමුදාව වෙත මෙම වැඩසටහන සිදු කිරීමට විශාල සහයක් ලබා දෙන ලදි. එසේම ඉදිරියේදීද මෙවැනි වැඩසටහන් තුලින් දැනට රටතුල උද්ගතවී ඇති තත්වය පාලනය කිරීමට රජය විසින් සිදු කරනු ලබන වැඩපිළිවෙල වෙනුවෙන් සහයෝගය ලබා දීමට නාවික හමුදව කටයුතු කරමින් සිටී.