Metallurgical Corporation of China LTD ආයතනය වෙතින් කොරෝනා මර්ධනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ රැසක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් මහජන චීන සමූහාණ්ඩුවේ Metallurgical Corporation of China LTD ආයතනය විසින් සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 02) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සහ පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා නාවික හමුදාව විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් විවිධ ආයතන වෙතින් අවශ්‍ය මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීම සිදුවේ. ඒ අනුව අද (2020 අප්‍රේල් 02) මහජන චීන සමූහාණ්ඩුවේ Metallurgical Corporation of China LTD ආයතනය විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ 1800ක් සහ ආරක්‍ෂිත අත් ආවරණ 2000ක් ලබා දීම සිදු කරන ලද අතර‍ එහිදී එම ආයතනය නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් මෙම වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළ පැසසුමට ලක් කරන ලදි.

තවද, මෙම පරිත්‍යාගය නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති තුමන් විසින් එම ආයතනයේ නියෝජිතයින් වෙත තම කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍