බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කල පළමු කණ්ඩායම එම මධ්‍යස්ථානයෙන් පිටව යයි.

නාවික හමුදාව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පළමු කණ්ඩායම 2020 අප්‍රේල් 01 වන දින පිටත්ව යන ලදි.

නව කෙරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බූස්ස නාවික හමුදා කඳවුරේ මහල් හතරකින් (04) යුත් ගොඩනැගිල්ලක් නිරෝධායන කටයුතු සඳහා සූදානම් කරන ලද අතර, ඒ අනුව එහි සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පළමු කණ්ඩායම වශයෙන් ජපන් ජාතික කාන්තාවක් (01) සහ ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙක් (02) 2020 අප්‍රේල් 01 වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි. තවද අද (2020 අප්‍රේල් 02) වන දින නිරෝධායන කටයුතු අවසන් කල තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් (02) අද ඉන් පිටත්ව යන ලදි. ඒ අනුව එසේ නිරෝධායන කටයුතු අවසන් කල පිරිස වෙත නිරෝධායනයට ලක්වු බවට ලබා ‍‍දෙනු ලබන සහතිකය දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් විසින් ලබා දීම සිදු කරන ලදි.

ඒ අනුව, මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුල තවදුරටත් ශ්‍රී ලාංකික පුද්ගලයින් 64ක පිරිසක් නිරෝධායනය කටයුතු වල නිරතව සිටී. තවද නාවික හමුදාව විසින් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක්ම ස්ථාපනය කිරීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙම වෛරසය රටතුල ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා රජය වෙත ලබා දිය යුතු සෑම සහයෝගයක්ම ලබා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.