මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් සමග පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින කෝකිලායි, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී තහනම් දැලක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාව වටා වූ සාගර කලාපයේ මත්ස්‍ය සම්පත සහ සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 මාර්තු 31 වන දින කෝකිලායි, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී සැක සහිත රෝද තුනේ යතුරු පැදියක් (Motor Tricycle) සහ තවත් යතුරු පැදියක් නිරීක්‍ෂණය කර රෝද තුනේ යතුරු පැදිය (Motor Tricycle) වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් සොයා ගත් අතර, එහිදී එම තහනම් දැල සහ යතුරු පැදි සමග පුද්ගලයින් දෙදෙනෙක්ද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 39 සහ 45 වන වියෙහි පසුවන පුල්මුඩය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වැඩිදුරටත් හදුනාගන්නා ලද අතර, තහනම් දැල, යතුරු පැදි සහ පුද්ගලයින් දෙදෙනා (02) ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුල්මුඩේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.