ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස්දෙනෙකු (11) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස්දෙනෙකු (11) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් (03) 2020 පෙබරවාරි 15 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වන ධීවරයින් සහ සාගරය භාවිතා කරමින් සිදු කරනු ලබන විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකදී අනලතිව් දූපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී, නීති වි‍රෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුනක් (03) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් එකොලොස්දෙනෙකු (11) නාවික හමුදා භාරයට ගන්නා ලදි. ඒ අනුව, එම ට්‍රෝලර් යාත්‍රා සහ ඉන්දීය ධීවරයින් පිරිස නිරුපද්‍රිතව උතුරු නාවික විධානයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි.

එසේම, ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත රැගෙන ආ මෙම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිත අතර, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුන (03) ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනයේ රදවා තබා ගැනීමට කටයුතු කරන ලදි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සිදු කරනු ලබන මුර සංචාර හේතුවෙන් මේ වන විට ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නියැලිම සාපේක්‍ෂව අඩුවි ඇති අතර, මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීම උදෙසා මෙන්ම මෙරට ධීවරයින්ගේ ආරක්‍ෂාව සඳහා ද නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.