විධායක නිලධාරී දීර්ඝ පාඨමාලාවන්හී සහතික පත් ප්‍රධානෝත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වයි

නාවික හමුදා විධායක නිලධාරී දීර්ඝ පාඨමාලවන්හි සහතික පත් සහ ත්‍යාග ප්‍රධානෝත්සවය අද (2020 පෙබරවාරි 15) අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

2019 ජුලි මස 01 වන දින සිට නාවික හා සාගරික විද්‍යාපීඨයේ විධායක නිලධාරී දීර්ඝ පාඨමාලා පාසලෙහි පළමු වරට පවත්වන ලද මෙම පාඨමාලාවන් සඳහා දීර්ඝ අවි පාඨමාලාව, දීර්ඝ මාලිමා පාඨමාලාව, දීර්ඝ දියයට සංග්‍රාමික පාඨමාලාව සහ දීර්ඝ සංඥා පාඨමාලාව ඇතුළත් වන ලදි. ඒ සඳහා එක් පාඨමාලාවකට නිලධාරීන් හය දෙනෙකු (06) වශයෙන් ඇතුළත්ව සිටින ලදි.

ඒ අනුව, මෙම පාඨමාලාවන් සාර්ථකව හදාරන ලද නිලධාරීන් සහ දක්‍ෂතා දක්වන ලද නිලධාරීන් වෙත ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කිරීම සඳහා පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා සහභාගී වූ අතර, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නන්දන ජයරත්න, ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රෝහිත පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිළධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් විශාල පිරිසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලදි.

තවද, සහතික පත් සහ ත්‍යාග ප්‍රදානයෙන් පසු නාවික සහ සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ප්‍රසන්න මහවිතාන විසින් නාවික හමුදාධිපති වෙත සමරු තිළිනයක්ද ලබා දෙන ලද අතර, උත්සවය අවසානයේ සමූහ ඡායාරූපයකටද නාවික හමුදාධිපති පෙනී සිටින ලදි.