‘මේ ඔබේ නාවික හමුදාවයි’ මැයෙන් නාවික හමුදා ප්‍රදර්ශණයක් හා සංදර්ශණයක් ගාලු මුවදොරදී.

කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද ‍(2020 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 72 වන නිදහස් සැමරුම් උළෙලට සමගාමීව ‘මේ ඔබේ නාවික හමුදාවයි’ මැයෙන් නාවික හමුදා ප්‍රදර්ශණයක් සහ සංදර්ශණයක් ගාලු මුවදොරදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයක් මත ‘මේ ඔබේ නාවික හමුදාවයි’ යන තේමාව පෙරදැරි කර ගනිමින් නාවික හමුදාව විසින් 72 වන නිදහස් දිනයට සමගාමීව ප්‍රථම වරට ගාලු මුවදොර පිටිය සහ මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලැබූ නාවික හමුදා ප්‍රදර්ශණය සහ සංදර්ශණය නැරඹීම සඳහා විශාල ජනතාවක් සහභාගී වී සිටියහ.

මෙහිදී නාවික හමුදාව සතු අධි තාක්‍ෂණ ගැඹුරු මුහුද නිරීක්‍ෂණ නෞකාවන්ද ගාලු මුවදොරට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙන ආකාරය සහ එම නෞකාවන්හි සිට ගෙන එනු ලබන සජීවී දර්ශණයන්ද ප්‍රථම වරට මහජනතාවට දැක බලා ගැනීමට හැකියාව ලැබුණි.

නාවික හමුදාවේ සමාජ සුභසාධන ව්‍යාපෘති සහ ‘නීල හරිත’ පාරිසරික ප්‍රථිපත්තිය තුල ක්‍රියාත්මක වන වැඩසටහන් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, කැස්බෑ සංරක්‍ෂණය, වෙරළ පරිසර පද්ධතිය සුරැකීම, ප්‍රති අශ්‍රැති ජල පිරිපහදු ව්‍යාපෘතිය, තැලිසීමියා රෝගීන් හට නාවික හමුදා විසින් සිදු කරනු ලබන කාර්යය භාරය, ප්ලාස්ටික් ප්‍රති චක්‍රීකරණය මගින් නිශ්පාදනය කරනු ලබන විසිතුරු භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම, නාවික හමුදාව විසින් නිශ්පානය කරනු ලබන යාත්‍රා මහජනතාවට ප්‍රදර්ශනය කිරීම මෙන්ම ඒ සම්බන්ධ තොරතුරු ලබා දීමද නාවික හමුදාවේ නිලයන් සහ තරාතිරම් ඇතුලත් ප්‍රදර්ශනය‍ මගින් බඳවා ගැනීම් සම්බන්ධයෙන් තොරතුරුද මහජනතාවට ලබා ගැනීමටද පහසුකම් සලසන ලදි.

එසේම, ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් ක්ෂණික මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකය (4RU) මගින් පැවැත්වූ ජීවිතාරක්‍ෂක අභ්‍යාස, රුවල් ඔරු සංදර්ශන, ජෙට් ස්කී යාත්‍රා සංදර්ශන, බෝට්ටු සංදර්ශන සහ නාවික සුරුවිරුකම් විදහා පාමින් ගෙන එනු ලැබූ ආකර්ෂණීය විශේෂ යාත්‍රා බලඝණයේ යාත්‍රා සංදර්ශණය මෙන්ම අංගම්පොර සංදර්ශණය නැරඹීම සඳහා මහජනතාව ඉතා උනන්දුවෙන් එක්විය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, ආඥාපති බටහිර නාවික පෙදෙස ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් රැසක් සහභාගී වන ලදි.