72 වන නිදහස් දින සැමරුම් උළෙලට නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වන ලදි

කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද ‍(2020 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 72 වන නිදහස් සැමරුම් උළෙල සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වන ලදි

තවද, මෙම නිදහස් සැමරුම් උළෙල සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ. ආරක්‍ෂක ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා , ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩ බලන පොලිස්පති, ඇතුළු මැති ඇමති වරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හා රජයේ උසස් නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ. අතිගරු ජනාධිපතිතුමන් විසින් ජාතික ධජය එසවීමත් සමග ජාතික දින සැමරුම් උළෙල ආරම්භ කෙරුණු අතර, එම අවස්ථාව සඳහා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩිය සූදානම් කිරීම නාවික හමුදාවේ සංඥා අංශයේ නාවිකයන් විසින් සිදු කෙරුණු අතර, නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ වාදනයට අනුව ජාතික ගීය ගායනා කිරීම එහිදී සිදු විය.

නිදහස් දින සැමරුම් උළෙලේ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කොමදෝරු ප්‍රදීප් රත්නායක පෙර ගමන් රථයේ ගමන් කරනු ලැබූ අතර, කොමාණ්ඩර් හරින්ද දීෂන විසින් නාවික හමුදා ඛණ්ඩයට අණදීම සිදු කරන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදා ආචාර පෙළපාලිය නාවික පුද්ගලයන් 713 දෙනෙකුගෙන් යුත් අංශ හයකින් සමන්විත වූ අතර නාවික හමුදා මූලස්ථාන බලඝණය සඳහා ලුතිනන් කොමාණ්ඩර් හේමන්ත පෙරේරාද, නාවික දියත් විධානය සඳහා ලුතිනන් කොමාණ්ඩර් චමින්ද වළාකුළුගේද, විශේෂ යාත්‍රා බලඝණය සඳහා ලුතිනන් කොමාණ්ඩර් ප්‍රියන්ත පුෂ්පකුමාරද, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ සඳහා ලුතිනන් කොමාණ්ඩර් දිමුතු දේශප්‍රියද, මැරීන් බලඝණය සඳහා ලුතිනන් කොමාණ්ඩර් යාපා ජයසිංහද, කාන්තා නාවික බලඝණය සඳහා ලුතිනන් කොමාණ්ඩර් චාමලි කරුණාරත්නද අණ දෙනු ලැබීය. එමෙන්ම මෙම අචාර පෙළපාලිය ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ප්‍රධාන තාක්ෂණික අවි සහ උපාංග ප්‍රදර්ශණය කෙරෙන අභිමානවත් රථ පෙළපාලියකින් සමන්විත වූ අතර, කොමාණ්ඩර් අනුරුද්ධ ප්‍රනාන්දු ඒ සඳහා අණ දෙනු ලැබීය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාව සඳහා අළුතින්ම එකතු වූ අධි තාක්‍ෂන ගැඹුරු මුහුද නිරීක්‍ෂණ නෞකාවන් වන ශ්‍රී ලංනා නාවික නෞකා ගජබාහු. පරාක්‍රමබාහු සහ සිඳුරළ නෞකාව සමඟ ශ්‍රීලංකා නාවික නෞකා සුරනිමිළ හා නන්දිමිත්‍ර නෞකාවන්ද ගාලු මුවදොරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිට නිදහස් දින සැමරුම් උළෙල සඳහා සිය නෞකා ආචාරය පුද කර සිටින ලදි.