මෙම වර්ෂයේ ආරම්භයේ සිට මේ වන තෙක් දිවයින වටා සිදු කල අති සාර්ථක නාවික හමුදා මෙහෙයුම් මගින් ටොන් භාගයකට අධික කේරළ ගංජා ප්‍රමාණයක් අත්අඩංගුවට

මෙම වර්ෂයේ ජනවාරි මස 01 වන දින සිට අද දක්වා (2020 පෙබරවාරි 01) පමණක් දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් භාගයකට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.

ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් 2020 ජනවාරි 01 වන දින සිට අද දක්වා (2020 පෙබරවාරි 01) දිවයින පුරා සිදු කරන ලද අති සාර්ථක මෙහෙයුම් මගින් මෙසේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 535කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව උතුරු නාවික විධානය මගින් කිලෝ 324 ග්‍රෑම් 822 කට ආසන්න ප්‍රමාණයක් ද, වයඹ නාවික විධානය මගින් කිලෝ 180 ග්‍රෑම් 660 කට ආසන්න ප්‍රමාණයක් ද , දකුණු නාවික විධානය මගින් කිලෝ 14 ග්‍රෑම් 903 කට ආසන්න ප්‍රමාණයක් ද, සෙසු නාවික විධානයන් මගින් කිලෝ 13 ග්‍රෑම් 757 කට ආසන්න ප්‍රමාණයක් ද වන ලෙස මෙම කේරළ ගංජා ප්‍රමාණය නාවික හමුදා භාරයට ගැනීමට සිය දායකත්වය ලබා දී ඇත.

තවද, දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශය මෙන්ම ගොඩබිම සිදු කරන නිරන්තර සෝදිසි මෙහෙයුම් මගින් මෙලෙස කේරළ ගංජා මෙරටට ගෙන ඒමට උත්සහ කරනු ලබන සහ රට තුල විකිණීමට උත්සාහ කරනු ලබන පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට නාවික හමුදාවට හැකිවී ඇත. තවද, 2019 වර්ෂය තුලදී සිදු කරන ලද මෙවැනි දැවැන්ත සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් 3.4 කට අධික ප්‍රමාණයක් සොයා ගැනිමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව තවදුරටත් නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.