පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ගේ ශ්‍රීලංකා නිල සංචාරය සාර්ථකව නිමාවට පත්විය.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටි පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිමාවට පත් කරමින් අද (2020 ජනවාරි 29) පෙරවරුවේ දිවයිනෙන් පිටත් විය.

පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ශ්‍රී ලංකා සංචාරය අතර තුරදී, ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්‍ෂක ලේකම්, නාවික හමුදාධිපති, යුධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමු විය.

එමෙන්ම, පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් 2020 ජනවාරි 26 වන දින නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදි. තවද, පකිස්තානු නාවික හමුදාධිපති විසින් 2020 ජනවාරි 28 වන දින දකුණු නාවික විධානයේ සිදුකල සංචාරයේදී දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් හමුවූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිනි.

ඒ අනුව අද (2020 ජනවාරි 29) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ කුටියේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු වී සමුදීමෙන් පසු පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් දිවයිනෙන් පිටත්ව යන ලදී.