සාර්ථක නාවික හමුදා මෙහෙයුම් මගින් ගතවූ පැය 72ක කාලය තුල කේරළ ගංජා කිලෝ 182 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් ගතවූ පැය 72ක කාලය තුල දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 182 ග්‍රෑම් 465ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.

ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් 2020 ජනවාරි 21 වන දින 1200 පැයේ සිට අද (2020 ජනවාරි 24) 1200 පැය දක්වා ගතවූ පැය 72ක කාලය තුලදී දිවයින පුරා සිදු කරන ලද මෙහෙයුම් මගින් මෙසේ කේරළ ගංජා කිලෝ 182 ග්‍රෑම් 465 ක් නාවික හමුදා භාරයට ගැනීමට හැකියාව ලැබී ඇත. මෑත ඉතිහාසයේදී මෙවැනි සාර්ථකත්වයක් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර, මෙහිදී නාවික හමුදාව විසින් පාලවිය ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 176ක්, කල්පිටිය ප්‍රදේශයේදී ග්‍රෑම් 460ක්, කින්නියා ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 02ක්, මාරවිල ප්‍රදේශයේදී කිලෝ 1 ග්‍රෑම් 055ක්, වෙත්තලකේනි ප්‍රදේශයේදී කිලෝ 1 ග්‍රෑම්500 ක් සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී කිලෝ 1 ග්‍රෑම් 450 වශයෙන් කිලෝ 182 ග්‍රෑම් 465ක වැනි ඉතා විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සදහා නාවික හමුදාව විසින් දායකත්වය ලබා දී ඇත.

තවද, ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන ඒමට උත්සහ කලද නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් මෙම ජාවාරම් මැඩපැවැත්වීමට හැකියාව ලැබී ඇත. 2019 වර්ෂය තුලදී ද කේරළ ගංජා ටොන් 03 කට අධික ප්‍රමාණයක් සොයා ගැනිමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.