13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී දස්කම් දැක්වූ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී දස්කම් දැක්වූ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කීරීමේ උත්සවයක් 2020 ජනවාරි 22 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රම’ ආයතනයේ සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

2019 දෙසැම්බර් 01 වන දින සිට 10 වන දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංග ශාලා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කර තම මාතෘ භූමියට ගෞරවයක් අත්කර දුන් නාවික හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී නාවික හමුදාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය. එම උත්සවයේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ලබා ගත් නාවික හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා චෙක්පත් සහ තිළිණ ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

එම ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 21 ක් සහ ලෝකඩ පදක්කම් 29ක් දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබී ඇත. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී නිශාන්ත උළුගෙතැන්න, අධ්‍යක්ෂ ජෙනරාල් සේවා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් රැසක් එම අවස්ථාව සදහා සහභාගී විය.