මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ගුවන් යානා එක්ව ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රීලංකා ගුවන් හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ගුවන් යානා දෙකක් (02) එක්ව ගැඹුරු මුහුදේදී නෞකාවක් අනතුරට පත්වීමෙන් ජීවිතාරක්‍ෂක බෝට්ටු මගින් දිවි ගලවාගනු ලබන පුද්ගලයින් සොයා ගැනීම පිළබඳ ඒකාබද්ධ අභ්‍යාසයක් 2020 ජනවාරි 21 වන දින මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

නෞකාවක් මුහුදේදී අනතුරකට පත්වූ අවස්ථාවක අනතුරට ලක්වූ පුද්ගලයින් හැකි ඉක්මනින් මුදවා ගැනීම මූලික අරමුණ කරගනිමින් 2020 ජනවාරි 21 වන දින කොළඹ වරායට නාවික සැතපුම් 20 ක් පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකාය එක්ව මෙම පුහුණු අභ්‍යාසය පවත්වන ලදි. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාව, වේග ප්‍රහාරක යාත්‍රාවක් (01) සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් පී-3 සී ඔරියන් (P-3 C Orion) වර්ගයේ ගුවන් යානා දෙකක් (02) මෙම අභ්‍යාසය සඳහා සහභාගී විය.

එමෙන්ම, දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඉහල නැංවීමටද මෙම අභ්‍යාසය මහත් සේ ඉවහල් විය.