ඉන්දියානු නාවික හමුදාවට අයත් අයිරාවත් නෞකාවේ නාවික පුද්ගලයින් සඳහා ආපදා කළමණාකරන හා ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ පුහුණු වැඩසටහනක් පැවැත්විය.

තෙදින සංචාරයක් සඳහා දිවයිනට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් අයිරාවත් නෞකාවේ නැව් මුළුව සඳහා 2020 ජනවාරි 21 ගගේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී බලඝණ මූලස්ථානයේදී මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීමේ පුහුනු වැඩසටහක් පවත්වන ලදි.

2020 ජනවාරි 20 වන දින දිවයිනට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් අයිරාවත් නෞකාවේ නාවික පුද්ගලයින් 30 දෙනෙකු 2020 ජනවාරි 21 කල්පිටිය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානය වෙත පැමිණි අතර, එහිදී එම නැව් මුළුව සඳහා මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීමේ පුහුණු වැඩසටහක් පවත්වා ඒ පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදි.

මෙම වැඩසටහන සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයින් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී විය. එහිදී ඔවුන් හට හදිසි ආපදා තත්වයකදී ප්‍රතිචාර දැක්වීම සඳහා වූ න්‍යායාත්මක දැනුම මෙන්ම ගංවතුර සහ නායයෑම් වැනි ස්වාභාවික ආපදා තත්වයන්හිදී විපතට පත් ජනතාව ඉන් මුදවා ගනිමින් ඔවුන් ආරක්‍ෂිත ස්ථානයන් කරා රැගෙන යාම පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා දීමට කටයුතු කරන ලදී. තවද හදිසි තත්වයකදී අවතැන්වන පුද්ගලයින් හට සහන සැලසීම සඳහා සැලසුම් කිරීම, සහන සැලසීම සහ එම කටයුතු කළමණාකරණය කිරීම පිලිබඳව ප්‍රායෝගික දැනුමක් ද ලබා දීමට කටයුතු කෙරුණි.

එසේම, මෙම වැඩසහන ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ පැවැත්වූ අතර, වැඩසටහන් පිළිබඳව ඉන්දීය නාවික හමුදාවේ ප්‍රසාදය පළ කිරීමට අයිරාවත් නෞකාවේ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් කටයුතු කරන ලදි.