නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 05 වන දින යාපනය, මණ්ඩතිව් දුපතට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එහි එක් මෙහෙයුමක් මෙලෙස උතුරු මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, නාවික හමුදාව විසින් සිදු කල මුර සංචාරයක් අතරතුරදී යාපනය, මණ්ඩතිව් දුපතට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සැක කටයුතු යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී ඔවුන් සතුව මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 13 ක් සොයා ගෙන ඇත. සිදු කල වැඩිදුර විමර්ශනයේදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ කටයුතුවල නිරතව සිටි ඇති බවට කරුණු අනාවරණය කර ගත් අතර, එහිදී මෙම පුද්ගලයින් නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇත. එහිදී ඔවුන් සතුව තිබී ට්‍රෝලර් යාත්‍රාවක්, ධිවර දැලක්, ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 34 ක් සහ නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 13 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 22, 36 සහ 47 වන වියෙහි පසුවන යාපනය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන්, ට්‍රෝලර් යාත්‍රාව, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.