නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් මස 30 වන දින මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

නීති විරෝධී ධීවර කටයුතුවල නියැලෙන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කර ඇති මෙහෙයුමක් අතරතුරදී මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සැක කටයුතු යාත්‍රාවක් නිරීක්‍ෂණය කර, එම යාත්‍රාව පරීක්‍ෂාවට ලක් කර ඇත. පසුව සිදුකල වැඩිදුර විමර්ශන‍යේදී මෙම යාත්‍රාව ලියාපදිංචි නොකල යාත්‍රාවක් බව තහවුරු වී ඇති අතර තවද, ඔවුන් සතුව ධීවර බලපත්‍ර ද තිබී නොමැත.

එහිදී මෙම පුද්ගලයින් සහ ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී පිටත දහන යන්ත්‍රයක්, ධීවර දැලක් සහ නීති විරෝධීව අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 40 ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත. නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 35 සහ 41 වන වියෙහි පසුවන සින්ගරාතෝප්පු සහ එරාවූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම සැක කටයුතු පුද්ගලයින්, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, නීති විරෝධීව අල්ලන ලද මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මකලපුව, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.