ශ්‍රී ලංකා සහ චීන නාවික හමුදාව අතර සුහද පැසිපන්දු තරඟාවලියක් කොළඹ දී

නිල සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 14 වන දින කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාවේ කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා පැසිපන්දු ක්‍රීඩා කණ්ඩායම අතර සුහද තරඟයක් අද (2019 නොවැම්බර් 16) පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැති මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පැසිපන්දු ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ද සහභාගී වීය. ඉතාමත් උද්යෝගිමත් ක්‍රීඩා තරඟයක් වූ එම අවස්ථාව දෙරටේ ක්‍රීඩා කණ්ඩායම් වලට නැවුම් අත්දැකීමක් ගෙන දෙන්නක් වූ අතර, තරඟාවලිය අවසානයේ පැසිපන්දු තරගාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමූහ ඡායාරූපයකට ද පෙනි සිටින ලදී.

මෙම තරඟාවලිය නැරඹීම සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති ඇතුළු දෙරටේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.