මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ පතොරම් තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව සහ එරාවුර් පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව එරාවුර් ප්‍රදේශයේ දී 2019 නොවැම්බර් 07 වන දින සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදි පතොරම් තොගයක් සොයා ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය සහ එරාවුර්, පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව එරාවුර් ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී 56 ගිනි අවි සඳහා භාවිතා කරනු ලබන මිමි 7.62 x 39 පතොරම් 70 ක් සොයා ගැනිමට සමත්ව ඇත.

එමෙන්ම එදිනම නැගෙනහිර නාවික විධානය විසින් පූම්පුහාර් වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි කිරීමකදී පිස්තෝල වර්ගයේ අවි සඳහා භාවිතා කරනු ලබන 9 x 19 වර්ගයේ පතොරම් 1066 ක් ද සොයාගෙන ඇත.

මෙම පතොරම් තොගය සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු නාවික හමුදාව විසින් සහ එරාවූර් පොලිසිය විසින් සිදු කරන අතර, මෙම පතොරම් තොගය මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කෙරේ.