අනවසර සංක්‍රමණිකයින් එකලොස් දෙනෙකු (11) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රීලාංකික පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) අද ( නොවැම්බර් 06) අළුයම නාවික හමුදා භාරයට ගන්නා ලදී.

ඒ අනුව නාවික හමුදාව සහ හලාවත පොලීසිය එක්ව හලාවත මෝය කට අවට ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයින් පිරිසක් නිරීක්‍ෂණය කර ඇත. එහිදී සිදු කරන ලද පරීක්ෂා කිරීමේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදේශ ගත වීමට සුදානම්ව සිටි පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත. මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයේ ලා-රියුනියන් දුපත වෙත සංක්‍රමණය වීමට සුදානම්ව සිටි බවට සැකකරන අතර, මොවුන් කුඩා ට්‍රක් රථයකින් පැමිණ යාත්‍රා මගින් මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ දැරීමේදී මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.

එලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25 ත් 57 ත් අතර වියෙහි පසුවන හලාවත ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ කුඩා ට්‍රක් රථය හලාවත පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

මෙලෙස නාවික හමුදාව විසින් සිදු කරන සෝදිසි කිරීම් හේතුවෙන් මෙරටින් නීති විරෝධී ලෙස විදේශ ගතවීමට උත්සාහ දරන අනවසර සංක්‍රමණික සහ මිනිස් ජාවාරම් කටයුතු අවම කිරීමට නාවික හමුදාව සමත් වී ඇත.