නෞකාවක අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් පෞද්ගලික සමාගමකට අයත් නෞකාවක සේවය කරමින් සිටි අනතුරට ලක්වු නාවිකයෙකු අද (අගෝස්තු 26) අළුයම කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට‍ රැගෙන ඒමට කටයුතු කරන ලදී.

ඒ අනුව කඹ හැසිරවිමේදී අනතුරට පත්වී තුවාල වු නාවිකයෙකු සම්බන්ධයෙන් වරාය පාලන අංශය මගින් කරන ලද දැනුම්දිමක් මත බටහිර නාවික විධානය විසින් කඩිනමින් වේග ප්‍රහාරක යාත්‍රාවක් එම රෝගියා රැගෙන ඒම සඳහා පිටත්කර යැවීමට කටයුතු කළ අතර, කොළඹ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 12.5 ක් පමණ දුරකදී තුවාලකරු වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කරන ලදී. තුවාල ලැබූ පුද්ගලයා නිරුපද්‍රිතව කොළඹ වරාය පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ඔහු වරාය අධිකාරියේ ගිලන් රථයක් මගින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.

තවද,නාවික හමුදාව මෙලෙස ශ්‍රී ලංකාවට අයත් සෙවිම් සහ මුදවාගැනිමේ කලාපය තුල අනතුරට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහයවීම සඳහා නිරතුරුවම කටයුතු කරන අතර, ඒ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන්ද සිටියි.