පී 625 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව අද (අගෝස්තු 22) කොළඹ වරාය පරිශ්‍රයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නමින් අධිකාරියට පත් කෙරිණි.

එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යාගමික පූජකවරුන්,ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්, ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති, අතිගරු චේන්ග් සූයුවාන්,ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් සුමංගල ඩයස් යන සම්භාවනීය අමුත්තන් සහභාගී වී සිටියහ.

තවද, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න,නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් සහ අධ්‍යක්‍ෂකවරුන් මෙන්ම නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු නාවික පුද්ගලයින් විශාල පිරිසක් එක් වී සිටියහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අභිනව නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් නලින්ද්‍ර ජයසිංහ වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලදී. එහිදී, කපිතාන් ජයසිංහ විසින් සන්නස් පත්‍රය උත්සව සභාව වෙත ප්‍රකාශයට පත් කරමින්, නෞකාවේ අණසක ගෞරව බහුමානයෙන් යුතුව භාර ගන්නා බවට ද ප්‍රතිඥා දෙන ලදී. ඉන් පසුව, ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නමින් අධිකාරියට පත් කරන ලද මෙම ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම, සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරිණි. තවද, ඔවුන් නෞකාවේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත වූ අතර, නාවික හමුදාධිපතිතුමා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව එම පිරිස දැනුවත් කරන ලදී.

මෙම නෞකාව පසුගිය ජුනි මස 05 වන දින චිනයේ ෂැංහායි පිහිටි නාවික තඨාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලදී. 1991 වර්ෂයේදී නිශ්පානදය කර ඇති මෙම නෞකාව 1994 වර්ෂයේදී අධිකාරියට පත්කර ඇති අතර දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 ක් වන අතර, එහි ධාරිතාවය ටොන් 2300 ක් වේ. මෙම නෞකාවේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.