ගාලු මුහුදේදී අත් අඩංගුවට පත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී තවත් මත් දුව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සොයා ගනී

පසුගිය ජූලි මස 11 වන දින නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේ දී සැක පිට නාවික හමුදා බාරයට ගත් ඉරාන ජාතිකයින් 06 දෙනා සහ ඔවුන්ට අයත් විදේශීය ධීවර යාත්‍රාව පරීක්ෂා කිරීමේදී හෙරොයින් කි.ග්‍රෑ. 70 කට ආසන්න තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.

මේ හා සමගාමීව ජූලි මස 10 වන දින ගාල්ල ප්‍රදේශයට නුදුරු මුහුදේදී ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකු සහ ඔවුනට අයත් දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගැනුනු අතර එහි තිබී හෙරොයින් සහ හෂීස් වලට සමාන මත් ද්‍රව්‍ය සාම්පලයන් සොයා ගන්නා ලදී. මෙම සිදුවීම් අතර යම් සබඳතාවක් පැවතිය හැකි බවට සැක කල අතර, මේ සම්බන්ධයෙන් පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදුකරන ලදී. කෙසේ නමුත් අධිකරණ නියෝග මත නාවික හමුදාව භාරයේ තිබූ අත්අඩංගුවට ගත් දේශීය බහුදින යාත්‍රාව දැඩි ලෙස පරීක්ෂා කිරීමේදී යාත්‍රාවේ විශේෂයෙන් සකසන ලද කොටසක් තුල ඉතාමත් සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් බවට සැක කෙරෙන කි.ග්‍රෑ. 85 කට ආසන්න තවත් ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව අද දින සමත් විය.

නාවික හමුදාව විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ෂණ කටයුතු සිදු කරන අතර, සැක කටයුතු මත් ද්‍රව්‍ය තොගය පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත බාර දීමට කටයුතු කෙරේ.