නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 700.3 සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 17 වන දින යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සහ උතුරු මුහුදේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු නාවික විධානය විසින් යාපනය, පුංගුඩුතිව් දුපතේ සංකට්ටර්කර්නි ප්‍රදේශයේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී වෙරළට ගොඩගසා තිබූ සැක කටයුතු පාර්සලයක් නිරික්‍ෂණය කර ඇති අතර, එම පාර්සලය පරික්‍ෂා කිරීමේදී එහි තුල තිබි බීඩී කොළ කිලෝග්‍රෑම් 84 ක් සොයා ගෙන ඇත.

තවද, එදිනම එම නාවික විධානය විසින්ම ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී මුහුදේ පාවෙමින් තිබූ බිඩී ‍කොළ කිලෝග්‍රෑම් 616.3 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, ඒවා පාර්සල් 08 ක අසුරා තිබියදි මෙලෙස සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් අගෝස්තු 17 වන දින සිදු කරනු ලැබූ මෙහෙයුම් මඟින් බීඩිකොළ කිලෝග්‍රෑම් 700.3 සොයා ගැනීමට සමත් වූ අතර, සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට නොහැකිවී ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.