නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක් ගම්පහ දිස්ත්‍රික්කයේදී

නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ එකකය විසින් 2019 ජූලි 29 සහ 31 යන දෙදින ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණය වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනට සමගාමිව නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු රාශියක් දිප ව්‍යාප්තව සංවිධානය කර ඇති අතර, මේවන විට ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටි.

ඒ අනුව, 2019 ජූලි 29 වන දින කැලණිය, අත්තනගල්ල සහ ජා ඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු පැවැති අතර, එහිදී පාසල්, දහම් පාසල්, ප්‍රජා සංවිධාන හා ප්‍රදේශයේ මහජනතාව කේන්ද්‍ර කරගනිමින් ‘දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති ආදීනව’ පිළිබඳවත්, එයින් සිදුවන සමාජීය, ආර්ථිකමය හා පෞද්ගලික පරිහානිය, අහිතකර බලපෑම් ආදිය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරමින් කරුණු සාකච්ඡා කරන ලදී. එමෙන්ම, 2019 ජූලි 31 වන දින ගම්පහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ද ග්‍රාමිය හා ස්වේච්ජා සංවිධානවල නිලධාරින් කේන්ද්‍ර කර ගනිමින් වැඩමුළුවක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩමුළු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් සහ මනෝ විද්‍යා උපදේශන නිලධාරින් ඇතුළු නාවිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා ප්‍රදේශයන්හි ස්වේච්ජා සංවිධාන, මහජනතාව සහ ළමුන් විශාල පිරිසක් සහභාගිවි සිටියහ. තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව විසින් දිපව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන මෙවැනි දේශන සහ වැඩමුළු වලින් මතින් තොර සාමාජයක් බිහි කිරීම අපේක්‍ෂා කෙරේ.