ගජබාහු නෞකාවේ පළමු මෙහෙයුම - නාවික හමුදාව රෝගි වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේදී රෝගි වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (ජුනි 17) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව බේරුවල, ධීවර වරායෙන් 2019 ජුනි 09 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ශාන් පුතා 04’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගිව සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නෞකාව පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

ගාල්ල ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 109 ක් පමණ වූ දුරකදි රෝගියා නිරුපද්‍රිතව නෞකාව වෙත ලබා ගන්නා ලදී. වෛද්‍ය පහසුකම්වලින් පවා සමන්විත වූ මෙම නෞකාවේදි රෝගියා හට මුලික ප්‍රථමාධාර ලබා දිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා එම රෝගියා ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා ‍වේග ප්‍රහාරක යාත්‍රාවක් වෙත ලබා දෙන ලදී. ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලදී.

තවද, ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා පංතියට එක්විමෙන් පසු සිදු කළ ප්‍රථම මුදවා ගැනීමේ මෙහෙයුම මෙය බවට සනිටුහන් විය.