බීඩි කොළ කිලෝග්‍රෑම් 946.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ අද (2019 ජූනි 16) සිදු කළ වැටලිමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 946.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ සිදුකළ වැටලිමකදී නිවසක් තුළ ගබඩා කර තිබු බීඩි කොළ කිලෝග්‍රෑම් 946.8 ක් මෙලෙස සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් 30 ක් අසුරා තිබිණි. තවද, වැඩිදුර විමර්ශනයේදී මෙම බීඩී කොළ තොගය වෙරළ ප්‍රදේශයේ සිට අදාල නිවස වෙත ප්‍රවාහන කිරීමට යොදා ගත් කරත්තයක් ද සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25, 48 ස‍හ 60 ක් වන මන්නාරම තාරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම බීඩි කොළ තොගය, පුද්ගලයින් සහ කරත්තය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගුව වෙත භාරදීමට කටයුතු කර ඇත.

ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 14000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.