ගංවතුර ආපදාවකදි නාවික හමුදාවේ කාර්යය භාරය පිළිබදව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩස‍ටහනක්

හදිසි ගංවතුර ආපදා තත්වයකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 11 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

වර්ථමාන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ගංවතුර ආපදා තත්වයකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, එහි එක් වැඩසටහනක් දකුණු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි. ඒ සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් විශාල පිරිසක් සහභාගීවි සිටියහ.

මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ දකුණු නාවික විධානයේ මාණ්ඩලික නිලධාරි (ගොඩබිම් මෙහෙයුම්), ලුතිනන් කොමාණ්ඩර් වසන්ත සමරවීර විසින් වන අතර, මෙහිදී මින් පෙර ගංවතුර අවස්ථාවන් වලදී නාවික හමුදාව ලැබු අත්දැකීම් පිළිබඳ නාවික පුද්ගලයින් දැනුවත් කරන ලදි. එමෙන්ම දකුණු පළාතට විශේෂ වු ගංවතුර සදහා බලපාන භූගෝලීය තත්ව සහ ආපදාවකදී ප්‍රයෝජනයට ගත හැකි සම්පත් සහ නාවික හමුදාවෙන් පරිබාහිර සම්පත්දායකයින් පිළිබඳව මෙහිදි පුළුල් අවබෝධයක් නාවික පුද්ගලයින් හට ලබාදෙන ලදී.

මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන මෙය වන අතර, දකුණු නාවික විධානයට අයත් සියළුම නාවික කඳවුරු ආවරණය වන පරිදි ඉදිරියේදී මෙලෙස දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.