මන්නාරම ප්‍රදේශයේ ලී මෝලක තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් 526 ක් සොයා ගැනිමට නාවික හමුදා සහය

නාවිකයන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූනි 03 අළුයම මන්නාරම, පෙරියගාමන් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ලී මෝලක් තුළ සඟවා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 526 ක් සොයාගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මන්නාරම, පෙරියගාමන් ප්‍රදේශයේ ලී මෝලක් තුළ සඟවා තිබූ බීඩි කොළ තොගයක් සොයාගනී. එහි දී බීඩි කොළ කිලෝ ග්‍රෑම් 526 ක්, ප්‍රවාහනය සඳහා භාවිතා කළ කැබ්රථයක් සහ එම ලී මෝලේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බීඩි කොළ තොගය, කැබ්රථය සහ ලී මෝලේ හිමිකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගුව වෙත භාරදීමට කටයුතු කර ඇත.

තවද, පෙර දිනයේදී ද (ජුනි 02) මන්නාරම් මුහුදු ප්‍රදේශයෙන් බීඩිකොළ කිලෝග්‍රෑම් 451ක් සහ දුම්කුඩු සහිත කුඩා ප්‍රමාණයේ කුප්පි 5300 ක ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගැනිමට සමත්විය. එමෙන්ම නාවික හමුදාව මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටී.