ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් කුච්චවේලි පොලීස් නිලධාරීන් සමඟ සම්බන්ධ වී එරක්කන්ඩි ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, 2019 ජූනි 01 එරක්කන්ඩි වෙරළ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ඩයිනමයිට් යොදා ගනිමින් ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 104 ක් සමඟින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ලබා ගත් තොරතුරු මත අද (ජුනි 02) එම පුද්ගලයින්ගේ නිවෙස් පරීක්‍ෂා කිරීමේන් අනතුරුව අලෙවි කිරීම පිනිස ගබඩා කර තිබූ තවත් මසුන් ක්‍රලෝග්‍රෑම් 224 ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 48 සහ 22 ක් වන එරක්කණ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ මසුන් තොගය ඉදිරි කටයුතු සඳහා කුච්චවේලි පොලිසිය මඟින්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මෙවැනි පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් මත්ස්‍ය අභිජනන පරිසර පද්ධතිය, ඉතා කුඩා මත්ස්‍යන්, ජලජ ජීවීන් හා ජලජ පැලෑටි ද විනාශ වන බැවින්, ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.