ජාතික රණවිරු සැමරුම් උත්සවයක් යාපනයේදී

ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් 2019 මැයි 20 වන දින පලාලි රණවිරු ස්මාරකය ඉදිරිපිට දී අති උත්කර්ශවත් අයුරින් සිදු කෙරුණි.

මෙම උත්සවය උතුරු පළාත් ආණ්ඩුකාර, ගරු ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, යාපනය දිස්ත්‍රික්කයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල් එස් බාලචන්ද්‍රන්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති, ත්‍රිවිධ හමුදා සහ පොලිසිය නියොජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු රණවිරු පවුල්වල සමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, එම අවස්ථාව සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු බන්දුල සේනාරත්න ඇතුළු උතුරු නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

වැඩමවා වදාල ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් විසින් සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව පුරා තිස් වසරක් පැවති කුරිරු යුද්ධයෙන් මිය ගිය හා ආබාධිත තත්වයට පත් වූ උදාර රණවිරුවන්ගේ ගුණානුස්මරණයෙන් පසු පැමින සිටි සියලුදෙනා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට එක්විය.