ජාතික රණවිරු සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2019 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.

රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය මෙවර පවත්වනු ලබන්නේ 10 වන වරටය. සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව, අතිගරු ජනාධිපති, ගරු අග්‍රාමාත්‍ය, ගරු විපක්‍ෂනායක, ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, ප්‍රභූවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු අ‍නනෙකුත් සම්භාවනීය අමුත්තන් සහ සටනේදී මියගිය සහ අතුරුදහන් වූ රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදී.

තවද, තම මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය පුද කළ ජ්‍යෙෂ්ඨතම නාවික හමුදා නිලධාරියා ලෙස ඉතිහාසයට එක්වී සිටින අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දුගේ ආදරණීය බිරිඳ ඇතුළු නාවික රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයන් රැසක් මේ සඳහා එක්විය.

මෙහිදී අදහස් දැක්වූ අතිගරු ජනාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ, වසර 30 ක මිලේච්ඡ කුරිරු ත්‍රස්තවාදය නිමාකරමින් මව්බිමට තිරසාර සාමයක් උදාකරලීම වෙනුවෙන් කැපවුණු රණවිරුවන්ගේ සේවය ගෞරව භහුමානයෙන් යුතුව අගය කරන බවයි. එසේම, තිස්වසරක යුද්ධය නිමාවී දස වසරකට ආසන්න කාලයක් නිදහස්ව සාමකාමීව ජිවත් වූ බවත් පසුගිය අප්‍රේල් මස 21 වන දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය දෙස් විදෙස් ජනතාවට ශෝකය ඵලකිරීමට ද මෙය අවස්ථාවක් කරගන්නා බව ප්‍රකාශ කරන ලදී. තවද, ආපදා අවස්ථාවන් හිදී සන්නද්ධ හමුදා සාමාජිකයින් ඉටුකරනු ලබන සුවිශේෂී මෙහෙය සම්බන්ධයෙන්ද සිය ප්‍රසාදය පල කරන බව ප්‍රකාශ කළ අතිගරු ජනාධිපතිතුමා අවසාන වශයෙන් ශ්‍රී ලකාවේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කර ගැනීම උදෙසා දායක වූ සියළුම රණවිරුවන් හට සිය ගෞරවාන්විත ප්‍රණාමය පුද කර සිටියේය.

මෙම අවස්ථාව සඳහා, ගරුතර මහා සංඝරත්ණය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, ප්‍රභූ පුද්ගලයින්, රණවිරු සේවා අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක බලකාය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු සිවිල් ජනතාව විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.