නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 15) වෙත්තලකර්නි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වෙත්තලකර්නි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 30 ක් සහ 36 ක් වන තල්අඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් ධීවර දැල් 03 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් ධීවර දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කිලිනොච්චිය, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මෙවැනි තහනම් ධීවර දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර පරිසර පද්ධතිය විනාශ විමට ලක්වි ඇති බැවින්, ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල ඇති මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.