ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ නව සභාපති පිළිගැනීමේ උත්සවය කොළඹදී

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ නව සභාපති, වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන පිළිගැනීමේ උත්සවය ඊයේ (මැයි 11) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ 04 වන සභාපති වශයෙන් පත් වූ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන පිළිගැනීමේ උත්සවය ඊයේ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් පැවැති අතර, ගෞරවනීය අමුත්තා වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සහභාගී විය. නව සභාපතිතුමන් උණුසුම් අයුරින් උත්සව අවස්ථාව සඳහා පිළිගත් අතර, චිරාගත සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව පිළිගැනීමේ උත්සව අවස්ථාව ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, එයර් වයිස් මාෂල් සුමංගල ඩයස් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින්, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සහ ත්‍රිවිධ හමුදා දන්ත වෛද්‍ය නිලධාරින් රැසක් සහභාගිවි සිටියහ.

උත්සවයේ පිළිගැනීමේ කථාව වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිතුමන් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්‍ෂ සෞඛ්‍ය සේවා, එයර් වයිස් මාෂල් ලලිත් රුක්මන් ජයවීර විසින් සිදු කළ අතර, ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂෙත්‍රයේ දියුණුවට අදාළව හමුදා මැදිහත්වීම පිළිබඳව ගෞරවනීය අමුත්තා වශයෙන් සහභාගී වූ මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා විශේෂ කථාවක් එහිදි සිදු කරන ලදී. මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමන් වෛද්‍ය විද්‍යාව හමුදා පුද්ගලයෙකුට කොපමණ වැදගත් වන්නේ ද යන්න පිළිබඳව අදහස් දැක් වූ අතර විශේෂයෙන් ම ගැඹුරු මුහුදේ කිමිදුම් හා මුහුදු බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් වලදී ඔහු ලද පෞද්ගලික අත්දැකීම් සම්බන්ධයෙන් ද අදහස් දක්වන ලදී.

මෙහිදී අදහස් දැක්වූ නව සභාපති සහ නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන, ‘විශිෂ්ට වූ හමුදා සෞඛ්‍ය සේවාවක් ‘යන මාතෘකාව යටතේ අදහස් දැක් වූ අතර යුද බිමේදී යුද නාවික ගුවන් හමුදාවන්ට සෞඛ්‍යය සේවයෙන් ඇති වැදගත්කම මෙන්ම ත්‍රිවිධ හමුදාව තුල මෙම ක්ෂේත්‍රයේ ඇතිවූ වර්ධනය පිළිබඳව අදහස් දක්වන ලදී.

තවද, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය යනු යුද්ධ, නාවික සහ ගුවන් හමුදා වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන්ගේ එකමුතුවෙන් නිර්මාණය වූ වෘත්තිමය සංගමයක් වන අතර, 2016 වර්ෂයේදී ප්‍රථම වරට ස්ථාපිත කරන ලද මෙම සංගමය මේවන විට හමුදාවට මෙන්ම රටට විශාල සේවයක් ඉටු කර ‍දියුණුවක් ලබා ඇත. ත්‍රිවිධ හමුදා උපදේශකයින් සහ විවිධ විශේෂඥ වෛද්‍යවරන්ගේ සමන්විතව මේවන විට වෛද්‍යවරු 400 ක් පමණ ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය තුළ කටයුතු කරනු ලබයි.