ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයින් පිරිසක් විසින් නාවික හමුදාවට ලෝහ සංවේදක උපකරණ පරිත්‍යාගයක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයින් පිරිසක් නවීන ලෝහ සංවේදක උපකරණ 15 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පරිත්‍යාග කරන ලදි.

‍ඒ අනුව මෙම සංවේදක උපකරණ කට්ටලය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් නාවික හමුදාවේ ප්‍රයෝජනය සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (මැයි 06) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

පසුගිය අප්‍රේල් මස 21 වන දින සිදුවු ත්‍රස්ථ ප්‍රහාරයෙන් අනතුරව ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශයන්ගේ පුපරණ ද්‍රව්‍ය පරික්‍ෂා කිරීමේ හැකියාව වර්ධනය කිරීමට අවශ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලද අතර, ඒ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජ්ර්සි ප්‍රාන්තයේ පදිංචි ශ්‍රී ලාංකීකයින් පිරිසක් විසින් දායකත්වය සපයන ලදී.

ඒ අනුව ඔවුන් විසින් රුපියල් ලක්‍ෂ 04 කට ආසන්න වටිනාකමකින් යුත් ලෝහ සංවේදක උපකරණ 15 ක් ඉතා කඩිනමින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දිමට කටයුතු කර තිබෙන අතර, මෙමඟින් නාවික හමුදාව විසින් ඉටු කරන ලද පුපුරණ ද්‍රව්‍ය පරික්‍ෂා කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමට අවස්ථාව උදාවනු ඇත.

තවද, මෙහිදි අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමන් මේ සඳහා අරමුදල් සම්ප්‍රදනයෙන් දායකවූ සියළුදෙනා හට සිය ස්තූතිය පුද කිරීමට ද කටයුතු කරන ලදි.