ශ්‍රීලංනානෞ සමුදුර නෞකාව සිංගප්පුරුව බලා පිටත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව ඊයේ (මැයි 06) ත්‍රිකුණාමල වරායෙන් සිංගප්පුරුව බලා පි‍ටත්ව යන ලදි.

සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනය (International Maritime Defence Exhibition – IMDEX) සඳහා සහභාගී වීම පිණිස ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව යන ලද අතර, ඒ සඳහා නිලධාරින් 17 ක් ඇතුළුව නාවික පුද්ගලයින් 154 දෙනෙකු එක්විය.

මෙම ‍ ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනය සඳහා රටවල් 33 ක නාවික හමුදාවන් සහභාගීවන අතර, ඒ සඳහා නාවික හමුදාධිපතිවරුන් 16 දෙනෙකු මෙන්ම වෙරළාරක්‍ෂක නියෝජිත ආයතන 06 කට අයත් නිලධාරින් ද සහභාගිවිමට නියමිතව ඇත.

තවද, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මැයි 12 වන දින සිට 17 වන දින දක්වා සිංගප්පූරුවේ රැදී සිටින අතර, එහිදී මුලික සංඥා හුවමාරුව, ධජ එසවීමේ ක්‍රියාකාරකම්, ගිනි නිවිම හා ආපදා කළමණාකරණය, හදිසි අවස්තාවකදි ස්ථානගතවීමේ ක්‍රියාකාරකම්, නෞකාවන් අතර ආරක්‍ෂිතව දුර පවත්වාගෙන යාමේ ක්‍රියාකාරකම් සහ නෞකාවක් ඇදගෙන යාම යන නාවික අභ්‍යාසයන් වලට ද නෞකාවේ කාර්ය මණ්ඩලය සහභාගී වීමට නියමිතය.

ඒ අනුව එළඹෙන මැයි 17 වන දින මෙම ජාත්‍යන්තර නාවික ප්‍රදර්ශනය සහ අභ්‍යාසය සාර්ථක ලෙස නිමා කරමින් සමුදුර නෞකාව ශ්‍රී ලංකාව බලා යාත්‍රා කිරීමට නියමිතව ඇත.