නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 06) ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අටදෙනෙකු (08) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ දින සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ධීවර කටයුතු සඳහා තහනම් කරන ලද බැක් බේ ප්‍රදේශයේ නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අටදෙනෙකු (08) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් අවුරුදු 18 ත් 43 ත් අතර වයස් වල පසුවන ත්‍රිකුණාමලය, නිලාවේලී ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.