නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ දාන ශාලාවක් අලුතින් ඉදිකෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ දාන ශාලාව පසුගිය මැයි 05 දින මහා සංඝයා වහන්සේ හට පූජා කරන ලදි.

ඒ අනුව, ඊයේ තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදිකල මෙම දාන ශාලාව ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් විවෘත කරන ලදී. එම අවස්ථාව සඳහා තණමල්විල ප්‍රදේශයේ අනෙකුත් විහාරස්ථාන වල මහා සංඝරත්නය සහ හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර ඇතුළු සැදැහැවත් බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සුරතින් එම විහාරස්ථාන භූමියේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතියක් ඉදිකිරිම සඳහා මුල්ගල තැබිමක් ද සිදුවිය. අනතුරුව මහා සංඝරත්නය විසින් පැමිණ සිටි සියළු දෙනා පංචශීලයේ පිහිටුවා ධර්මදේශනාවක් පවත්වා ආශිර්වාද කරන ලදි.