නීති විරෝධී ධීවර දැල් සමඟ පුද්ගලයින් 06 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (03) සාවරිපුරම් මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධි ධීවර දැල් සමඟ පුද්ගලයින් හයදෙනෙකු (06) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සාවරිපුරම් මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධි ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සහ තහනම් දැල් 04 ක් අත්අඩංගුවට ගත් අතර, එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට විරෝධය දක්වමින් රාජකාරියට බාධාවන අයුරින් හැසිරුණු තවත් පුද්ගලයින් දෙදෙනෙකු (02) ඒ සමඟම අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 32 - 47 අතර වයසැති පුද්ගලයින් වන සිලාවතුර, පුතුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී, නීති විරෝධි ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් සිව්දෙනා (04) සහ තහනම් දැල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධිවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කළ අතර, රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත පුද්ගලයින් සිලාවතුර, පොලිසිය වෙත භාරදිමට කටයුතු කරන ලදී.