ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිදුරළ’ නෞකාව සිය පළමු සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව ඊයේ (අප්‍රේල් 21) සිය අභිමානවත් පළමුවන සංවත්සරය සමරන ලදී.

ඒ අනුව, නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් (අවි) නලින් නවරත්න සහ විධායක නිලධාරී කොමාණ්ඩර් (ඒඑස්ඩබ්) මනෝජ් ලීලාරත්න ඇතුළු කාර්යය මණ්ඩලය විසින් නෞකා දිනයට සමගාමීව පසුගිය දින කිහිපය තුළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ දානමය පිංකමක් සිදු කරන ලදී.

තවද, නෞකා දිනය වෙනුවෙන් ඊයේ ශ්‍රී ලංකා නාවික හමුදා සම්ප්‍රදායට මුල් තැන දෙමින් නෞකාවේ අණදෙන නිලධාරිතුමා විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ පිහිට ත්‍රිෆැතම් ජැටියේදී අංශ පිරික්සුම පවත්වන ලද අතර, ‍අණදෙන නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් නැව්මුළුව සඳහා මංගල භෝජන සංග්‍රහ චාරිත්‍රය පවත්වීමෙන් අනතුරුව සංවත්සර දින වැඩසටහන් මාලාව නිමාවට පත්වන ලදී.