නාවික හෙද හෙදියන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවය ප්‍රතිඥා දීමේ උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2018 වර්ෂයේ බඳවා ගැනීමට අයත් හෙද සිසුන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය අද (අප්‍රේල් 04) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහභාගී විය. තවද, නාවික හමුදා අධ්‍යක්‍ෂක ජෙනරාල් සෞඛ්‍ය හා සේවා, වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

චිරාගත සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දැල්‍වීමෙන් අනතුරුව හෙද සිසුන්ගේ හිස් වැසුම් පැළඳවීම සහ තුන්සිළු පහන් ප්‍රධානය කිරීමේ උත්සවය ආරම්භ කෙරිණි. එම කර්තව්‍ය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂිකා (හෙද අධ්‍යාපන) රජුලා දේවි වල්ලිපුරනාදන්, අධ්‍යක්‍ෂිකා (හෙද වෛද්‍ය සේවා) එම්බීසී සමන්මලී, අධ්‍යක්‍ෂිකා (හෙද සහ මහජන සෞඛ්‍ය) ආර්එල්එස් රාජපක්‍ෂ, පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ විදුහල්පතිනි, අශෝකා අබේනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්කේඑල්ඩී මීගොඩ රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ විශේෂ ශ්‍රේණියේ ප්‍රධාන හෙද නිලධාරී, කුමුදු කුමාරි යන මහත්මීන් අතින් සිදු කරන ලදී.

මෙහිදි පළමු අර්ධ වාර්ෂික පරීක්‍ෂණ විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබා ගත් හෙද සිසුන් හට විෂය ප්‍රවිණතා පදක්කම් ප්‍රදානය කිරීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමා සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා ගේ සුරතින් සිදු කෙරිණි.