කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.12 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදා ‍තොරතුරකට අනුව ගිණිකොණ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ අරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් මෙන්ම අරුගම්බේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් අද (මාර්තු 16) පොතුවිල්, කොට්ටුයාලේ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 12 සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ගංජා තොගය විකිණිම සඳහා නිවසක් තුල සුදානාම් කර තිබියදි සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් 39 සහ 61 වන වියෙහි පසුවන පොතුවිල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව හඳුනා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු පොතුවිල් පොලිසිය විසින් සිදු කරනු ලබයි. ඒ අනුව, මෙම වර්ෂය තුළ පමණක් නාවික හමුදා මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 680 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

තවද, මෙම ප්‍රදේශයේම පසුගිය දින කිහිපය පුරාම පුද්ගලයින් විසින් බලපත්‍ර රහිතව ට්‍රැක්ටර් යොදා මා දැල් ඇදීමට කටයුතු කරන බව නාවික හමුදාව නිරික්‍ෂණය කර ඇති අතර, එම කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. එහි ප්‍රථිපලයක් වශයෙන් පසුගිය මාර්තු 13 වන දින සිදු කළ මුර සංචාරයක් අතරතුර බලපත්‍ර රහිතව මා දැල් ඇදීමට යොදා ගත් ට්‍රැක්ටරයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි විය.

තවද, මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විමට නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුල ජාවාරම් සහ නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින් හට දැඩි තරජනයක් වි ඇත. එමෙන්ම ඉදිරියටද ‍මෙවැනි නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.