ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් අද (මාර්තු 16) අළුයම නිමාවට පත් විය. නාවික හමුදාව විසින් නව දේවස්ථානය ඉදිකිරීමෙන් අනතුරුව පවත්වනු ලබන තෙවන දේව මෙහෙය බවට මෙය සනිටුහන් විය. ඒ අනුව මෙවරත් එම කටයුතු සඳහා යාපනය පදවියේ රදගුරු සහ දිස්ත්‍රික් ලේකම් හට අවශ්‍ය පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

දේව මෙහෙය දෙමළ භාෂාවෙන් මෙන්ම සිංහල භාෂාවෙන්ද පැවැත්වු අතර, ඉන්දියාවේ ජොෂෆ් ලුරුදුරාජ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ භාෂාවෙන් දේව මෙහෙයද, රොබින්සන් විජේසිංහ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිංහල භාෂාවෙන් දේව මෙහෙයද පවත්වන ලදි. මෙම අවස්ථාව සඳහා යාපනය පදවියේ රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණාන්, යාපනය දිස්ත්‍රික්කයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල්, එස්. බාලචන්ද්‍රන් මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් ද සහභාගී විය. තවද, මෙවර මංගල්‍යය සඳහා ශ්‍රී ලාංකික බැතිමතුන් 6500 ක් සහ ඉන්දියානු බැතිමතුන් 2100 කට ආසන්න පිරිසක් මෙන්ම පූජකතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් ද එක්ව සිටියහ.

මෙවර කච්චතිව් මංගල්‍යය සඳහා අවශ්‍ය අවශ්‍යතා ඉටුකර දීම වෙනුවෙන් යාපනය පදවියේ රදගුරු හිමිපාණන් සහ දිස්ත්‍රික් ලේකම්තුමා‍ හා සම්බන්ධීකරණය වි වැඩ ආරම්භ කිරීම පසුගිය පෙබරවාරි මුල් සතියේ සිට ආරම්භ කළ අතර, ඒ අනුව කච්චතිව් මංගල්‍යය සඳහා සහභාගී වූ බැතිමතුන් හට අවශ්‍ය ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කර දීම මෙන්ම විදුලි බල පහසුකම් සලසා දීම නාවික හමුදාව මගින් සිදු කරන ලදී. එමෙන්ම බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමටත්, වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍යවරයකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් යෙදවීමටත් නාවික හමුදාව පියවර ගෙන තිබුණි.

මීට අමතරව, කන්කසන්තුරේ සහ කුරිකට්ටුවාන් ජැටියේ සිට කච්චතිව් දූපත දක්වා පූජකවරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයින්, බැතිමතුන්, දෙස් විදේස් මාධ්‍යවේදින් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ හා උපකරණ ආරක්‍ෂිතව නෞකා හා යාත්‍රා මඟින් ප්‍රවාහනය කිරීම මෙවරත් නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් ද නාවික හමුදා යාත්‍රා සහ නෞකාවන් වෙත අනුයුක්ත කර සිටින ලදී.