නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 13) මොහොත්තුවාරම් මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 23, 26, 31, 32, 34, 38 සහ 40 වන වියෙහි පසුවන නොරොච්චෝලේ සහ මාම්පුරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 04 ක්, පිටත දහන යන්ත්‍ර 04 ක්, මසුන් කිලෝග්‍රෑම් 321 ක් සහ මිටර් 225 දිගැති දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කල්පිටිය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.