මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් අද (මාර්තු 14) චෙම්මාලෙයි සහ නායාරු අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි පාවෙමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී. එහිදී, ජෙලට්නයිට් කූරු 01 ක්, විදුලි නොවන ඩෙටනේටර් 06 ක් සහ ආරක‍්‍ෂිත වෙඩි නූල් 07 ක් සොයා ගන්නා ලද අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය මුලතිව් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය මාර්තු 11 වන දින ත්‍රිකුණාමලය, සාගරපුර වෙරළ තීරයේ නාවික හමුදාව සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලද අතර, එහිදී වොටර් ජෙල් කූරු 02 ක්, විදුලි නොවන ඩෙටනේටර් 08 ක් සහ ආරක‍්‍ෂිත වෙඩි නූල් 05 ක් සොයා ගැනීමට කටයුතු කරන ලදී.