නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයින් 30 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අද (මාර්තු 07) අළුයම සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් සහ පුද්ගලයින් තිස්දෙනෙකු (30) නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව ගාල්ල ප්‍රදිපාගාරයේ සිට නාවික සැතපුම් 80 ක පමණ දුරකින් ‍සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කොට ඇති අතර, ඒ අනුව එම යාත්‍රාව දෙසට දකුණු මුහුදේ මුර සංචාරයේ යෙදුණු නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් පිටත් කර යැවිමට කටයුතු කර ඇත. ඒ අනුව, නීති විරෝධී ලෙස මුහුදු මඟින් සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිස්දෙනෙකු (30) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් සියළුදෙනා පිරිමි පුද්ගලයින් වන අතර, නාවික හමුදා විමර්ෂණ කටයුතු සහ වෛද්‍ය පරික්‍ෂණයකින් අනතුරුව මෙම පුද්ගලයින් ගාල්ල, වරාය පොලිසිය වෙත භාර දිමට නියමිතය.

තවද, සංක්‍රමණික නීතිය දැඩිව ක්‍රියාත්මකවන මෙම කාලයේදී නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් කිසිසේත්ම විදේශගත විමට නොහැකි අතර, ඒ සඳහා උත්සාහ ගන්නා පුද්ගලයින් හට මිනිස් ජාවාරමට හසුවිමෙන් ජීවිත අවදානමට ලක්කර ගැනීමටත්, ධනය විනාශ කර ගැනීමටත්, අවසානයේ නීතියෙන් වරදකරුවන් වී බන්ධනාගාර ගතවීමෙන් අනාගතය අඳුරු කරගැනීමටත් සිදු වනු ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කරන නිරන්තර මුර සංචාරයන් හා වෙරළ තීරය වටා ක්‍රියාත්මක මුර සංචාරයන් හේතුවෙන් මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී සංක්‍රමණ කටයුතු ඇතුළු සියළු නිතී විරෝධී කටයුතු සාර්ථකව මැඩපැවැත්විමට ඉඩ ප්‍රස්ථාව ලැබි ඇත.