බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (මාර්තු 03) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.

දිගින් මීටර් 81 ක් වන ‘ධලේශ්වරී’ නෞකාව ටොන් 1920 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 183 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹේන මාර්තු 06 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.