විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව ලැබූ නිලධාරීන් සහ නාවිකයන් 23 දෙනෙකු විසිර යති

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 26 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් දහනව දෙනෙකු (19) සහ නිලධාරින් සිව් දෙනෙකු (04) සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (මාර්තු 02) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විසිර ගියහ.

මෙම විසිර යාමේ සහ ලාංඡන පැළඳවීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය. ඉතාමත් විචිත්‍රවත් ලෙස පැවැත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය විශේෂ යාත්‍රා බලඝණයේ හැකියාවන් සහ දක්ෂතාවයන් විදහා දැක්වෙන අලංකාරවත් සංදර්ශනයන්ගෙන් සමන්විත විය.

එහිදී, තම මූලික පුහුණු කාල සීමාව තුළ විශේෂ කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සිදු කෙරිණි. ඒ අනුව, 26 වන බඳවා ගැනීමේ අතිශූර සාමාජිකයා සහ සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් සාමාජිකයා ලෙස උප ලුතිනන් ඩබ්එම්එන්බී වීරක්කොඩි ද, දක්ෂතම වෙඩික්කරු වශයෙන් සාමාන්‍ය නාවික අයිසීබී ජයසේකර ද, පාඨමාලාවේ දක්‍ෂතම ක්‍රීඩකයා වශයෙන් උප ලුතිනන් එච්ඩීඑන් ප්‍රශාද් ද, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සාමාජිකයා වශයෙන් සාමාන්‍ය නාවික ටිජිඩී කුමාර ද කුසලාන හිමිකර ගැනීමට සමත් විය.

“විකුමැතියට භාග්‍ය ප්‍රසාදනිය වේ” යන ආදර්ශ පාඨය තේමා කර ගනිමින් මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ යාත්‍රා බලඝණය නිරන්තරයෙන් ඇප කැප වී සිටී. එමෙන්ම, දශක 3 ක් පුරා පැවති ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් මුලිනුපුටා දැමීම කෙරෙහි විශාල කාර්යභාර්යක් ඔවුන් විසින් සිදු කර ඇත. සෑම විටම මනා පුහුණුවකින් සහ උසස් විනයකින් යුක්තව ඕනෑම යුදමය අවස්ථාවකදී ගුවන, දියඹ සහ දෙරණ සිසාරා රණබිමට අවතීර්ණ වී දැඩි මානසික හා ශාරීරික ශක්තියකින් යුතුව, සතුරා මවිතයට පත් කරමින් දැවැන්ත ප්‍රහාරයක් කරා යොමු වීමේ දුර්ලභ හැකියාව මෙම විශේෂ යාත්‍රා බලඝණය සතුය.

එමෙන්ම නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් (වියාබ) තුසිත දමින්ද, නාවික හමුදා මුලස්ථානය සහ නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, විසිර යන ලද නාවික පුද්ගලයින්ගේ දෙමාපියන් ඇතුළු පවුල්වල සාමාජික සාමාජිකාවන් සහ නාවිකයන් රැසක් එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.