රියර් අද්මිරාල් උපුල් ඒකනායක මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් උපුල් ඒකනායක සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින (මාර්තු 01) විශ්‍රාම යන ලදී.

එතුමාගේ 55 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කළහ. ඉන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදී. සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් ඒකනායක මහතා වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.

1985 වර්ෂයේදී 13 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ඒකනායක මහතා මීට පෙර විධාන කිහිපයක විදුලි හා විද්‍යුත් නිලධාරි, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික විදුලි හා විද්‍යුත් සහ කොමදෝරු අධිකාරි තඨාකාංගණය (නැගෙනහිර) ආදී විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.