අණතුරකට පත් ධීවරයකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සහය වෙයි

දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් අද (පෙබරවාරි 16) දින බහුදින ධීවර යාත්‍රාවක සිටි අණතුරකට පත් රෝගියෙකු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

පසුගිය පෙබරවාරි 07 වන දින ධීවර කටයුතු සඳහා ගාල්ල ධීවර වරායෙන් අශාන් 07 නැමැති මෙම බහුදින ධීවර යාත්‍රාව නික්ම ‍ගොස් ඇති අතර, එහි සිටි ධීවරයෙකු හදිසියේ අණතුරකට පත්වී ඇති බැව් කොළඹ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ මඟින් නාවික හමුදාව වෙත දැනුම් දී ඇත.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව රෝගියා රැ‍ගෙන ඒම සඳහා මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී. සංඟමන් කන්ද ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 84 ක පමණ දුරකදී එම රෝගීයා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවා ගෙන ප්‍රථමාධාර පහසුකම් ලබා දෙමින් නිරුපද්‍රිතව හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.