නාවික පවුල්වල දූ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ
 

2018 වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිට, විශිෂ්ට ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 30) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේ දී සිදු කෙරුණි. නාවික පුද්ගලයින්ගේ දූ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගෙන යාමට කෙරෙන දිරි ගැන්වීමක් වශයෙන්, නාවික හමුදා සුභසාධක අංශය මඟින් මෙකී ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කර ඇත.

මෙහිදී 2018 වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික හමුදා සේවයෙහි යෙදී සිටියදී මියගිය, ආබාධිත තත්ත්වයට පත්වූ මෙන්ම දැනට සේවයෙහි නිරත නාවික හමුදා පුද්ගලයින්ගේ දූ දරුවන් 302 දෙනෙකු හට එක් දරුවෙකුට රුපියල් 5000.00 බැගින් මෙම ප්‍රතිලාභය හිමි වනු ඇත. මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය අධියර හතරක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ අනුව එහි පළමු අධියර අද ක්‍රියාත්මක කරන ලදී. එහිදී, නාවික හමුදා සේවයෙහි යෙදී සිටියදී මියගිය, ආබාධිත තත්ත්වයට පත්වූ නාවික හමුදා පුද්ගලයින්ගේ දූ දරුවන් 06 දෙනෙකු සහ දැනට සේවයෙහි නිරත නාවික හමුදා පුද්ගලයින්ගේ දූ දරුවන් 76 දෙනෙකු ඇතුළුව දූ දරුවන් 82 දෙනෙකු හට චෙක්පත් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපතිතුමා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් අජිත් සමරසිංහ මහතා, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, කොමදෝරු සෙනරත් විජේසුරිය මහතා ඇතුළු නාවික හමුදා මුලස්ථානයට සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද ශිෂ්‍යත්ව ලාභී දූ දරුවන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ.